නිවිතිගල මැණික් පතලට බැසි අයෙක් අධික සීතලෙන් මරුට


නිවිතිගල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළ පිටුපස පිහිටි මැණික් පතලක මැණික් ඉල්ලම් කැඩීමට පැමිණි පුද්ගලයෙකු ඊයේ (18දා) එම පතල් වළ තුළදී ජිවිතක්ෂයට පත්ව තිබේ. පතලේ ජලය අධික සීතල වීම හේතුවෙන් මෙම පුද්ගලයාට දිවි බේරා ගැනීමට නොහැකි වී ඇති බව නිවිතිගල පොලීසිය පැවසීය.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිවිතිගල, කොළොම්බුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි ඩබ්ලිව්.ඒ. අනුර නමැති තිදරු පියෙකි. එම පුද්ගලයාගේ මළසිරුර ඊයේ (18දා) උදෑසන ගොඩ ගනු ලැබීය.

පුද්ගලයා ඊයේ (18දා) අලුයම කාලයේ තවත් තිදෙනෙකු සමඟ එක්වී මැණික් පතල් වැඩකිරීමට උත්සාහ කර තිබේ.

එහිදී පතලේ ජලය සීතල බව පවසමින් අනෙක් පුද්ගලයන් තිදෙනා ගොඩට පැමිණ ඇති බවද පොලීසිය සඳහන් කළේය.

මියගිය පුද්ගලයා මෙම පතලේ සේවකයෙක් වන අතර මෙම පිරිස පතලේ අයිතිකරුවන්ට සහ අනෙක් සේවකයන්ට නොදන්වා හොර රහසේ ඊයේ (18දා) අලුයම මැණික් ඉල්ලම් කැඩීමට උත්සාහ ගෙන තිබෙන බව පොලීසිය පැවසීය.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රත්නපුර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිවංක බාලසූරිය මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඩබ්ලිව් ප්‍රේමරත්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

- ලසන්ත නිරෝෂණ -

Hot News Lanka Gossip Lanka News Sri Lanka Breaking News Sri Lanka News
Join the conversation
Post a Comment
Top comments
Newest first
Table of Contents
Link copied successfully.